Friday, 4 November 2011

ශාන්ත ජෝන් ගිලන් සේවයේ ඉතිහාසය


"Pro Utilitate Hominum" මානව සංහතියේ සේවය උදෙසා යන ආදර්ශ පාඨය පෙරටු කොටගත් ශාන්ත ජෝන් ගිලන් රථ සේවය මේ වන විට මහද්වීප රැසක් පුරා විහිද පවතින ජාතික සංවිධාන 39 ක් යටතේ ස්වේච්ඡා සේවකයන් 250,000 අධික පිරිසකගේ සහයෝගය යටතේ ප්‍රථමාධාර පිළිබඳ ඉගැන්වීම, පුහුණු කිරීම සහ ප්‍රථමාධාර මෙන්ම ගිලන් රථ සේවාවන් පවත්වාගෙන යමින් සිටී.  

කිතුණුවන්ගේ ශුද්ධ භූමි මුස්ලිම්වරුන්ගේ ග්‍රහණයෙන් මුදවා ගැනීමට කුරුස යුද්ධ පැවති සමයේ යුද්ධයේදී තුවාල වූ සෙබළුන් සඳහා ප්‍රතිකාර කිරීම සිදු කළේ ශාන්ත ජෝන් නිකායේ පූජකයන් විසිනි. මෙහිදී 1877 දී ශාන්ත ජෝන් නිකායේ රෝහල් පද්ධතියට පුනර්ජීවයක් ලබාදීමේ අරමුණින් ශාන්ත ජෝන් ගිලන් රථ සංගමය පිහිටුවන ලදී. 

එහිදී පහත අරමුණු මුල් කරගෙන ශාන්ත ජෝන් ගිලන් රථ සංගමය ක්‍රියාත්මක වුණි. 

  • ප්‍රථමාධාර ලබාදීම පිළිබඳව ශිෂ්‍යයින්ට උපදෙස් ලබාදීම
  • ප්‍රථමාධාර උපකරණ බෙදා දීම.
  • හදිසි ආපදාවන්හිදී රජයට සහයෝගය දීම.
මේ යටතේ ශාන්ත ජෝන් ගිලන් රථ සංගමය තම වැඩ කටයුතු බ්‍රිතාන්‍යය තුළ සිදු කිරීමට 1888 දී වික්ටෝරියා මහ රැජිණගෙන් රාජකීය අවසර පතක් හිමිවූ අතර එදා සිට අද දක්වාම පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල්වල ප්‍රමුඛ වශයෙන්ද අනෙක් රටවල් කීපයකද සාර්ථකව ශාන්ත ජෝන් ගිලන් සේවය ක්‍රියාත්මක වෙමින් පවතී.

 ශාන්ත ජෝන් ගිලන් සේවය ක්‍රියාත්මක වන රටවල්

ශ්‍රී ලංකාවේ ශාන්ත ජෝන් ගිලන් රථ සංගමය අරඹන ලද්දේ 1906 වර්ෂයේදීය. ඒ ලංකා පොලිස් දෙපාර්තමේතුවේ නිලධාරීන් හට ප්‍රථමාධාර සේවය ලබාදීමේ අරමුණෙනි. පසුව එය ලාංකික ළමා, වැඩිහිටි සියලු දෙනා උදෙසා ප්‍රථමාධාර පුහුණු ලබාදෙන මෙන්ම ප්‍රථමාධාර සේවාවන් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධානයක් බවට පත්වුණි.  

 

1980 සහ 1998 දී සම්මත කර ගත් පාර්ලිමේන්තු පනත් දෙකක් මඟින් ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් රථ සේවය ස්වේච්ඡා සමාජ සංවිධානයක් ලෙස පිළිගෙන ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් රථ සේවයේ ප්‍රධාන අනුශාසකවරයා ලෙස ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිවරයා ක්‍රියා කරයි.  

මේ වන විට ශ්‍රී ලංකාවේ පළාත් 9 පුරාම ක්‍රියාත්මක වන ශාන්ත ජෝන් ගිලන් සේවය තුළ සාමාජිකයෝ 60,000 කට ආසන්න පිරිසක් තම සේවාවන් ඉටු කරමින් සිටිති.

වැඩි විස්තර සඳහා ජාතික මූලස්ථාන වෙබ් අඩවියට යන්න :     

http://www.stjohnsrilanka.org/




ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ කැලණිය/ දෙල්ගොඩ සේනාංකය 1965 වර්ෂයේදී දෙල්ගොඩ කළ්‍යාණ ප්‍රදීප පිරිවෙනේ දී ආර්.ඩබ්.එම්.ජී. රාජකරුණා මහතා විසින් ආරම්භ කළ අතර එවකට පරිවෙණාධිපති පූජ්‍ය දරණාගල සුගතපාල හිමියන්ගේ හා පිරිවෙනේ සාමාන්‍යාධිකාරී පූජ්‍ය ගෝනහේනේ ජෝතිපාල හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා වෛද්‍ය එන්.කේ.බී. සූරියගොඩ මහතා සහ වෛද්‍ය ඩී.ඩබ්.කේ. හීන්දෙණිය මහතාගේ දායකත්වය මේ සඳහා හිමිවිණි. 

පළමු ප්‍රථමාධාර පරීක්ෂණය සමත් 104 දෙනාගෙන් "කැලණිය/ දෙල්ගොඩ කොට්ඨාශය" ආරම්භ වූ අතර එහි පළමු කොට්ඨාශ භාර නීලධාරී වූයේ ආර්.ඩබ්.එම්.ජී. රාජකරුණා මහතාය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට භික්ෂූන් වහන්සේලා සඳහ ප්‍රථමාධාර පංතියක් ආරම්භ කර උන් වහන්සේලා සඳහ සහතික පත් ලබාදීමටද 1973 වසරේදී කැලණිය/ දෙල්ගොඩ කොට්ඨාශයට හැකිවුණි. 

පසුකාලීනව අක්‍රීයව පැවති කැලණිය/ දෙල්ගොඩ කොට්ඨාශය 1990 දශකය අග භාගයේදී සක්‍රීය තත්වයට පත් කරන ලද අතර ඒ සඳහා කොට්ඨාශ භාර අධිකාරී වශයෙන් ක්‍රියා කළ ගාමිණි ගුණසිංහ මහතා මූලික විය. 

මේ වන විට කැලණිය / දෙල්ගොඩ සේනාංකය කැලණිය අධ්‍යාපන කලාපයේ පාසල්, දහම් පාසල් මෙන්ම ආයතන රාශියක් තුළද තම ප්‍රථමාධාර කොට්ඨාශ පිහිටුවා ගෙන තම සේවාවන් සාර්ථකව ඉටු කිරීමට සමත්ව සිටී.

No comments:

Post a Comment